Photo Credit : www.chainadaily.com.cn
PWC (pricewaterhousecoopers) උපකල්පිත ගණනය කිරීම් වලට අනුව වසර 2050 දී ඇමරිකාව පසුකරමින් චීනය හා ඉන්දියාව ලෝක ආර්ථික බලවතුන් වනු ඇත (මුලාශ්‍ර : https://www.pwc.com/gx/en/issues/economy/the-world-in-2050.html).
එමෙන්ම රුසියාවද තම ආර්ථික හා යුධමය බලය එලෙසම පවත්වා ගනු ඇත. ඔවුන්ගේ මුල්බහැගත් ස්වදේශික චින්තනය මෙම ඉලක්කය සපුරා ගැනීමට ඉදිරි වසර 30 තුල ක්‍රියා කරනු ඇත. චීනය පැරණි සේද මාවත නැවතත් ගොඩ නගිමින් සිටින්නේ One Belt One Road Initiative ලෙස නව මුහුණුවරක් එක කරමිනි. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය එහි උපාය මාර්ගික ලෙස ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇත. නමුත් එහි ලාභය අප රටට වාසි වන ලෙස ගිවිසුම් ගත වීමට අපගේ සියලුම දේශපාලන බලාධිකාරීන් අසමත් වී ඇත. ඉදිරි වසර 99 ම චීනය මෙහි සම්පුර්ණ ලාභය රැගෙන යනු ඇත. කලාපීය ලෙස චීනය හා ඉන්දියාව මෙන්ම ඉන්දුනීසියාව, ජපානය, පාකිස්ථානය, මැලේසියාව, තායිලන්තය හා බංගලාදේශය යන රටවල් ඉදිරියට යනු ඇති බවට විශ්ලේෂකයෝ ඉඟි පල කරති (http://uk.businessinsider.com/pwc-ranking-of-biggest-economies-ppp-2050-2017-2/#32-netherlands-1496-trillion-1). එසේනම් ශ්‍රේෂ්ඨ රාවණ පරපුරකින් පැවත එන ලංකාද්වීපය කොහිද? වසර 2500ක ඉතිහාසයක් ගැන කියමින් උදම් අනන අපි අතර ඇති බෙදීම් හේතුවෙන් අප පහලට යන බව එක්තරා ලිපියක කියවීමි. නමුත් ඉන්දියාවේද බෙදීම් එමටය. කුල, ආගම් ජාති ලෙස ඔවුන් නිතර ගැටෙති. නමුත් පසුගිය දශක කිහිපය තුල පත් වූ ඉන්දීය රජයන් දීර්ඝ කාලින සැලසුමකට අනුව රට ගොඩනගන බව පෙනෙන්නට තිබේ. දුෂණය නැතිවාම නොවේ. නමුත් කුමන පක්ෂය බලයට පත්වුවද රට ඉදිරියට යන බව පෙනෙන්නට ඇත. රටක දීර්ඝ ඉතිහාසය නොව මිනිසුන්ගේ ආකල්ප වර්ධනය තුලින් ලොව රටවල් දියුණු වී ඇත. වර්ෂ 2012 බලයට පත් වූ චීනයේ ජනාධිපතිවරයාට ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිසිට් පක්ෂය එරට ජනාධිපති ෂී ජින්පින්ග්ට දිගටම බලයේ රැඳි සිටීම සඳහා ඉඩකඩ සකසා දුන්නේය. ඒ ඔහු රට ඉදිරියට ගෙන යන බව විශ්වාස බැවිනි. බටහිර ලෝකය හා බටහිර ගැති රුසියානු පක්ෂ කුමක් කියුවත්, රුසියානු ජනතාවද ව්ලදිමිර් පූතින් ජනාධිපතිවරයාට එවැනිම බලයක් ලබා දී ඇත. 1953 උපන් ෂී ජින්පින්ග්ට හෝ 1952 උපන් ව්ලදිමිර් පූතින්ට 2050 දක්වා බලයේ සිටීමට මිනිස් ආයු ප්‍රමාණය මදි වුවද අවශ්‍ය ඉලක්කයන් වෙත යාමට පසුබිම ඔවුන් සකස් කරනු ඇත.
යුරෝපයේ බල අධිකාරය ආසියාව ග්‍රහණය කරගනිමින් පවතී (රුසියාවේ වැඩි කොටසක් ආසියාවට අයත් වේ). අප එයට සුදානම්ද ? කුඩා දරුවෙකුට තබා අපටවත් අසා සිටිය නොහැකි අසැබි බසින් බැණ ගන්නා පාර්ලිමේන්තුව එයට සුදුසුද? සිංගප්පුරුවේ සියලුම ඇමතිවරුන් තම විෂයපථය තුල උපාධිධාරීන් බව මෑතකදී ඇසුවෙමි. බොහෝ දියුණු රටවල තත්වය එසේය. අපේ බොහොමයක් මන්ත්‍රීන් සාමාන්‍ය පෙළ වත් සමත් නොවූවන් බව තවත් මන්ත්‍රී වරයෙක් කියයි. අධ්‍යාපන සහතික මිනිසෙකුගේ හැකියාව සාර්ථක ලෙස මනින මිම්මක් නොවන බව ඇල්බර්ට් අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන්, මාර්ටින් වික්‍රමසිංහ වැනි විද්වතුන් හා අතිසාර්ථක ව්‍යාපාරිකයින්ගේ ජිවිත කතා කියවීමෙන් වටහා ගත හැකි වුවත්, ඒ දුර්ලභ පුද්ගලයින්ය. එසේනම් අධ්‍යාපන සහතිකය දේශපාලකයන් තෝරා ගැනීමේදී යොදා ගැනීමෙන් සිංගප්පුරුව වැනි රටවල් ජය ගෙන ඇත. අධ්‍යාපන සුදුසුකම් නැති, නමුත් ඇති දක්ෂ පිරිස මේ ප්‍රවාහයට එක කරගැනීමට යම් කිසි ප්‍රතිශතයක් වෙන් කල හැක. උගතුන් ලෙස දේශපාලනයට එක වූ ලලිත් ඇතුලත්මුදලි, ලක්ෂ්මන් කදිරගාමර් වැනි මහත්වරුන්ට පක්ෂ භේදයකින් තොරව අප ගරු කරන්නේ ඔවුන් වෙනත් විෂයන්හි දැක්වූ පරිනතභාවය දේශපාලනය තුල ප්‍රයෝගිකව ඔප්පු කල බැවිනි. උපාධියට අමතරව ඇමතිවරයකු වීමට නම් නීතිඥයෙකු වීම අමතර සුදුසුකමක් විය යුතු ලෙස මා දකින්නේ පාර්ලිමේන්තුව යනු පනත් හා නීති සම්මත කර ගැනීමේ ස්ථානයක් වන බැවිනි. පනතක්, නීති ලියවිල්ලක් කියවා තේරුම් ගැනීමට මන්ත්‍රී වරයෙකුට හැකියාව තිබිය යුතුය. මන්ත්‍රී වරයෙකු සතු වරප්‍රසාදයක් ලෙස නීති විද්‍යාලයට ඇතුලත් වීමට හැකි වීම පෙර පැවති දෙයකි.
බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙසේ පවසා ඇත "ඔබ අරගල කල යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටය. මන්ද,අමන ජනතාවක් කිසිදිනෙක පාදඩ පාලකයෙකුට එරෙහි නොවනු ඇත". පාලකයන් පත් කර ගන්නේ ජනතාව විසිනි. උගත්, බුද්ධිමත් ශිෂ්ඨ සම්පන්න පාලකයින් තෝරා පත්කර ගැනීම ජනතාවගේ වගකීමකි.