Thursday, November 30, 2006

පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයේ රුසියානු භූමිකාව

ඉහල වෘත්තීය නිපුනත්වය හා අනෙකුත් යුරෝපීය රටවලට සාපේක්ෂව අඩු වේතනයන් යන සාධක හේතු කොට ගෙන බටහිර රටවල් තම මෘදුකාංග ව්‍යාපෘති සඳහා රුසියානු මෘදුකාංග ඉංජිනේරුවන් තෝරා ගනිති. ඔවුන් එය විශාල ආයෝජනයක් ලෙස සලකන අතර රුසියානු මෘදුකාංග ඉංජිනේරුවන් සඳහා වර්තමානයේ අති විශාල ඉල්ලුමක් පවතී. රුසියානු මෘදුකාංග ප්‍රවීණයන් බටහිරට ඇදී යෑමේ ප්‍රවණතාවක් දක්නට ඇති නමුත් දිනෙන් දින බිහිවන රුසියානු මෘදුකාංග වෘත්තිකයන් ප්‍රමාණය සලකා බැලූ කල එය රුසියානු මෘදුකාංග කර්මාන්තයට තර්ජනයක් නොවන බව පැවසිය යුතුය. ඇමරිකාව ඇතුලු බටහිර රටවල් තම මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘති සඳහා රුසියානු සමාගම් යොදා ගනිති.

වර්ෂ 2003 දී මෘදුකාංග අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 475 ක ආදායමක් ඉපැයීමට රුසියාව සමත් විය. එය 2002 වසරට වඩා 60% ක වර්ධනයක් වන අතර 1998 වසරට සාපේක්ෂව 9 ගුනයක වර්ධනයකි.

කෙසේ වෙතත් මෘදුකාංග අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ඉන්දියාව රුසියාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටී. මෘදුකාංග අපනයනයෙන් වාර්ෂිකව ඉන්දියාව ලබන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි. Boeing, Dell, Intel, හා Motorola වැනි ආයතන දැනටමත් මොස්කව් නගරයේ තම තාක්ෂණික සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, අනෙකුත් බටහිර සමාගම් කොන්ත්‍රාත් පදනම මත රුසියානු මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සේවය ලබා ගනිති.

බටහිර රටවල් රුසියානු මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සේවය ලබා ගැනීමට බලපෑ ප්‍රධානතම සාධකය වන්නේ මුදලයි. මොස්කව් නගරයේ ජීවත් වන මෘදුකාංග වෘත්තිකයකුගේ දළ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් 12,000 ක් පමණ වේ. ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට සාපේක්ෂව එය ඉහල වැටුපක් වුවද ඇමෙරිකාවට සාපේක්ෂව අවම වශයෙන් 5 ගුනයක ලාභයකි. රුසියාව තුල මෘදුකාංග සංවර්ධනය කිරීමෙන් අවම් වශයෙන් 60% ක පමණ ඉතිරියක් ඇති බව බටහිර සමාගම් පවසති.

රුසියානු මෘදුකාංග ක්ෂේත්‍රයේ ඇති ප්‍රධානතම වාසිය අඩු වියදම පමනක්ම නොවේ. දිගු කලක සිටම සෝවියට් දේශයේ ජනතාව විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහලින් සිටියා සේම අදටත් ඔවුන් එම ක්ෂේත්‍රයන් හි හා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඉහල තලයක සිටිති. නමුත් ඉන්දියානු මෘදුකාංග සමාගම් මෙන් නොව බොහොමයක් රුසියානු සමාගම් විශාල සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇත. බොහෝ සමාගම් 20 ට අඩු සේවක සංඛ්‍යාවකින් යුක්ත වන අතර මහා පරිමාණයේ මෘදුකාංග ව්‍යාපෘති සඳහා ඉල්ලුම් කිරීමේදී මෙය අහිතකර ලෙස බලපායි. එවැනි කුඩා ආයතන වල අලෙවිකරනය හා කලමණාකාරීත්වයද දුර්වල මට්ටමක පවතී. ඉන්දියාව උදාහරණයක් ලෙස ගෙන හැර දක්වන රුසියානු ආර්ථික හා මෘදුකාංග විෂ්ලේශකයින් පෙන්වා දෙන්නේ ඉතා ඉහල ඉල්ලුමක් ඇති මෙම ක්ෂේත්‍රයට මීට වඩා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු බවයි.

කුඩා රටක් වුවද ශ්‍රී ලංකාවද මෘදුකාංග සංවර්ධන හා අපනයන ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරමින් සිටී. නිදහස් මෘදුකාංග ක්ෂේත්‍රයේ (Free & Open Source Software – FOSS) ව්‍යාපෘති ගණනාවකටම අප රටේ ඉංජිනේරුවන් දායක වී ඇත. රුසියාව හා ඉන්දියාව මෙන්ම අප සතුවද ඉතා ඉහල මට්ටමේ මෘදුකාංග වෘත්තිකයන් සිටින අතර රාජ්‍ය අනුග්‍රහය හා මනා කළමණාකාරීත්වය තුලින් ඉතා විශාල විදේශ විනිමයක් අප රටට උපයා ගත හැක. දිගු කාලයක සිට අප රටට වැවිලි භෝග වලට අමතරව විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම සම්පත ගෘහ සේවිකාවන් හා කම්කරුවන්‍ ය. විදේශීය මෘදුකාංග වෙළඳපොල අඩු මිනිස් ශ්‍රමයකින් වැඩි ආදායම් උපයන මාර්ගයක් බැවින් අප ඒ සඳහා උනන්දු විය යුතුය.