Friday, March 13, 2009

සිංහල යුනිකෝඩ්..?

පහත දැක්වෙන්නේ මා විසින් 2008 නොවැම්බර් මස පැවති සමාජවාදී රටවල උපාධිලත් ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ වාර්ෂික සමරු කලාපයට ලියන ලද ලිපියකි. ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික සාමජිකයින් අතට මෙම සමරු කලාපයේ මුද්‍රිත පිටපත් ලැබෙන බැවින් සිංහල යුනිකෝඩ් පිලිබඳ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

ශ්‍රී ලංකාවට පරිඝණකය පැමිණියේ 80 දශකයේ පමණය. එදා පටන්ම දේශීය තාක්ෂණවේදීන් හා විවිධ ආයතන සිංහල භාෂාව තොරතුරු තාක්ෂණය හා බද්ධ කිරීම සඳහා නොයෙකුත් ප්‍රයත්නයන් දරන ලදී. ඉන් බොහොමයක් වානිජ අරමුණු වලින් සමන්විත සිංහල යතුරු ලියනය හා මුද්‍රණ ක්ෂේත්‍රය ඉලක්ක කර ගත් මෘදුකාංග විය. 1985 දී ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්‍ෂණෙවේද සභාව (CINTEC- සින්ටෙක්) පිහිට වූ පසු සිංහල හා දමිළ භාෂාවලින් පරිගණක භාවිත අවශ්‍යතා පිළිබඳව කටයුතු කිරීම සඳහා තොරතුරු තාක්‍ෂණ මෙන්ම සිංහල භාෂා ප්‍රවීණයන්ගෙන් සමන්විතකම්ටුවක් පිහිටවන ලදී. තනි බයිටයකින් සැදි ASCII කේතන වගුවේ (ISO 646) AO සිට FF දක්වා වූ කේත පිරවිය හැකි බිටු 7කින් යුත් කේතන ක්‍රමයක් සකසා සම්මත කේතන ක්‍රමය සාදන ලදී. The standard code for Information Interchange - SLASCII (ස්ලස්කි) ලෙස අනුමත වූ ඉහත කේත ක්‍රමය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1134 ලෙස 1996 වසරේදී සම්මත කර ගන්නා ලදී. ලොව බොහෝ භාෂාවන්හි අක්‍ෂර දැක්වීම සඳහා භාවිතා කරන යුනිකෝඩ් කේත ක්‍රමය අනුව සිංහල අක්‍ෂර මාලාව කේත ගත කිරීම අවශ්‍ය වූ අතර විටින් විට ඇති වූ සංශෝධනයන්ගෙන් පසු 2004 වසරේදී ICTA ආයතනයේ මැදිහත් වීමෙන් SLS 1134 සංශෝධනය කොට දැනට පවතින සම්මත සිංහල යුනිකෝඩ් ක්‍රමය එලිදක්වන ලදී.

යුනිකෝඩ් යනු කුමක්ද? යුනිකෝඩ් ක්‍රමය මගින් පරිගණක පද්ධතියෙන් ස්වායක්තව, පරිගණක වැඩසටහනෙන් ස්වායක්තව, භාෂාවෙන් ස්වායක්තව සෑම අක්‍ෂරයකටම ඊටම අනන්‍ය වූ අංකයක් ලබා දේ. යුනිකෝඩ් ක්‍රමය සොයා ගැනීමට පෙර මෙසේ අකුරුවලට අංක නියම කිරීමට ASCII වැනි කේතන පද්ධති ඉතා විශාල ගණනක් පැවතුනි. එමෙන්ම රුසියානු, ප්‍රංශ, ජර්මන් වැනි විවිධ භාෂා සඳහා විවිධාකාර වූ කේත ක්‍රම භාවිතා විය. නමුත් යුනිකෝඩ් ක්‍රමය පැමිණීමත් සමගම ලොව සියලුම භාෂා එකම කේතන ක්‍රමයකට ගෙන ඒමට හැකි වී ඇත. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව එම යුනිකෝඩ් කේතන ක්‍රමයට සකස් කෙරුනු සිංහල අක්ෂර මාලාව SLS 1134 මගින් දැක්වේ. විවිධ මෙහෙයුම් පද්ධති හා මෘදුකාංග වල ඇති විෂමතා හේතුවෙන් පැරණි මෙහෙයුම් පද්ධති වල (උදා: Windows 98) සමහර සිංහල අක්ෂර හොඳින් දර්ශණය නොවුවද Linux, Windows Vista වැනි මෙහෙයුම් පද්ධති පෙර නිමියෙන්ම සිංහල සහාය සමග පැමිණේ. සියලුම නවීන වෙබ් බ්‍රවුසර සහ වෙනත් පරිගණක නිපැයුම් රාශියක් යුනිකෝඩ් ක්‍රමය ට සහාය දක්වයි. එමෙන්ම ලොව ප්‍රචලිත වෙබ් බ්‍රව්සරයක් වන මොසිල්ලා ෆයර්ෆොක්ස් (Mozilla FireFox) දැන් සම්පූර්ණයෙන්ම සිංහලෙන් ලබා ගත හැක (http://www.mozilla.com/en-US/firefox/all.html#si) .

රාජ්‍ය අංශය තුල චක්‍රලේකයක් මගින් ලිපි කටයුතු සඳහා යුනිකෝඩ් භාවිතා කල යුතු බවට නියෝග කර ඇත. නමුත් ශ්‍රී ලංකාව තුල තවමත් යුනිකෝඩ් ගැන එතරම් ප්‍රචාරණයක් සිදු වී නොමැත. සමහරෙක් මෙය තවත් එක් "ෆොන්ට්" එකක් ලෙස දකිති. මෙය හුදෙක් ෆොන්ටයක් නොව කේතන ක්‍රමයකි. ඔබට අවශ්‍ය නම් ගොනුවක් (file) හෝ ෆෝල්ඩරයක් (folder) සිංහලෙන් නම් කල හැක. පැරණි ASCII ෆොන්ට භාවිතයෙන් එවැන්නක් කල නොහැක. බොහෝමයක් සිංහල පුවත් වෙබ් අඩවි යුනිකෝඩ් ක්‍රමයට පරිවර්තනය වී ඇත. www.silumina.lk, www.ethalaya.com, www.dinamina.lk ඉන් සමහරකි. අනෙකුත් අඩවි වලටද යුනිකෝඩ් ක්‍රමයට පරිවර්තනය වීම හැර වෙනත් විකල්පයක් නැත. සමහරක් වෙබ් අඩවි "ෆොන්ට් නොගෙනම කියවන්න" යන ලේබලය යටතේ යල් පැන ගිය තාක්ෂණයක් වන මයික්‍රෝසොෆ්ට් ආයතනයේ EOT (Embedded Open Type) ක්‍රමයට අනුව සිංහල පුවත් ඉදිරිපත් කරති. නමුත් ෆොන්ට් නොගෙන කියවිය හැක්කේ මයික්‍රෝසොෆ්ට් ආයතනයේ නිපැයුමක් වන IE (Internet Explorer) මත පමණි. නවීන පුවත් අඩවි වල ඇති විශේෂත්වය නම් යම් කිසි පුවතක් සම්බන්ධයෙන් පාඨකයන්ට තම අදහස් (Comments) දැක්වීමට ඇති හැකියාවයි. වෙබ් අඩවිය සිංහල යුනිකෝඩ් ක්‍රමයට අනුකූලව සකසා ඇත්නම් හා ඉහත සඳහන් කල පාඨක අදහස් දැක්වීමේ පහසුකමක් ඇත්නම් වැඩි පිරිසක් එය කියවනු ඇත. පැරණි ASCII හෝ EOT ක්‍රමයට මෙය සිදු කල නොහැක.

රුසියානු බස යුනිකෝඩ් වූයේ මීට වසර ගනනාවකට පෙරය. අද වන විට සියලුම ජංගම දුරකථන ද රුසියානු යුනිකෝඩ් සහාය දක්වයි. නමුත් සිංහල බස යුනිකෝඩ් වී එතරම් කාලයක් ගත වී නොමැත. සිංහල යුනිකෝඩ් හි මීලඟ ඉලක්කය ජංගම දුරකථනයයි. ඉංග්‍රීසි අක්ෂර යොදා සිංහලෙන් SMS යවන අපේ අයට සිංහලෙන්ම කෙටි පණිවුඩ යැවිය හැකි වන දිනය වැඩි ඈතක නොවේ. දැනටමත් සමහර ජංගම දුරකථන සිංහල සහාය දක්වන අතර විශ්ව විද්‍යාල හා තාක්ෂණික ආයතන මේ සම්බන්ධයෙන් නිරන්තර පර්යේෂනයන්හි නියැලෙමින් සිටිති.

පරිඝණකයේ සිංහල සහාය පෙර නිමියෙන් පැමිණ නැත්නම් www.siyabas.lk වෙතින් එය බාගත කොට ඉතා පහසුවෙන් ස්ථාපනය කර ගත හැක. එමෙන්ම ස්ථාපනය සඳහා උපදෙස් http://www.siyabas.lk/sinhala_how_to_install.html පැහැදිලිව දක්වා ඇත. සිංහල යුනිකෝඩ් සඳහා සම්මත යතුරු පුවරුව විජේසේකර යතුරු පුවරුව වන අතර ශබ්දය අනුව සැකසුනු (Phonetic) ද භාවිතා වේ. ඉංග්‍රීසි යතුරු පුවරුවට හුරු වූ අයට මෙම ක්‍රමය භාවිතයෙන් ඉතා පහසුවෙන් සිංහල යුනිකෝඩ් යතුරු කල හැක. http://www.siyabas.lk/sinhala_unicode_keyboards වෙත පිවිසීමෙන් යතුරු පුවරු පිලිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැක.

සමහරෙක් මෘදුකාංග දේශීයකරණයට විරුද්ධය. එයින් අපේ අයගේ ඉංග්‍රීසි ඉගෙනුමට ඇති මග ඇහිරී යනු ඇති බව ඔවුන්ගේ මතයයි. නමුත් සිංහලෙන් හෝ දෙමළෙන් හිතන අපේ දේශීය චින්තනයට අනාගතයක් පැවතීමට නම් දේශීය භාෂා තොරතුරු තාක්ෂණය සමග බද්ධ විය යුතුමය. දමිළ බසින් සැලකිය යුතු මෘදුකාංග හා නිර්මාණ කොටසක් දකුණු ඉන්දියාවේ නිපදවේ. ඉතින් සිංහල බස සඳහා තාක්ෂණික දායකත්වය අප රටෙන් මිස වෙනත් රටකින් බලාපොරොත්තු විය නොහැක. ලිනක්ස් (Linux) මෙහෙයුම් පද්ධතිය දැන් සම්පූර්ණයෙන්ම සිංහල හා දෙමළ භාෂා වලින් සමන්විතය.

වර්තමානයේ අප කඩදාසි හා පෑන් භාවිතයෙන් ඈත් වී කෙලින්ම පරිඝණකයේ යතුරු ලියනයට හුරු වී සිටිමු. සිංහල සාහිත්‍යයේ හා ලේඛන කලාවේ උන්නතිය උදෙසා එහි නියැලෙන්නන් යුනිකෝඩ් භාවිතයට හුරු වීමෙන් අන්තර්ජාලයේ උසස් නිර්මාණ දැක ගත හැකි වනු ඇත. මෙහි මූලික පියවරයන් ලෙස සිංහලෙන් බ්ලොග් ලිවීම ඉතා ප්‍රචලිත වී ඇති අතර සිංහල බ්ලොග් කරුවන්ගේ සංසඳයේ (www.sinhalabloggers.com) ඉතා විශාල සිංහල බ්ලොග් ප්‍රමාණයක් දැක ගත හැක.

4 comments:

ecH said...

ෂා මේක හරිම රසවත්. අර රාජ්‍ය වක්‍රලේඛණය ඇයිද දන්නෙ නෑ තාම නැත්‍තේ. අපේ කාර්යාලයේ නංගිලා නම් තාම dl-paras තමයි.

ශාකුන්තල said...

මොකද OpenId එපාද? :P

දීර්ඝ නිහැඬියාවකට පසු නේද? ලිපිය හොඳයි. කියවන්න ආස හිතෙන විධියට ලියල තියෙනවා. හැබැයි පරිස්සමෙන්... අර ඉංග්‍රීසි නමක් තියෙන මහත්තය ආයෙම ෆෝම් වෙලා... බේරෙන්න බැරි වෙයි. :D

සමහර අය යුනි‍කේතය හඳුන්වන්නෙ ෆොන්ට් එකක් විධියට. සමහර අය මේක දකින්නෙ 'ලින්ක්' එකක් විධියට. මේ වැරදි වැටහීම ඇති වෙන්න සමහර සිංහල බ්ලොග් අඩවිත් වග කියන්න ඕන. මොකද ඒ බ්ලොග් අඩවි වල සඳහන් කරල තියෙන්නෙ සිංහල ෆොන්ට් ගන්න සියබස් එකට යන්න කියල. අපි නිවැරදි භාවිතාව සාමාන්‍ය මිනිස්සු අතරට ගෙනියන්න ඕන.

මෘදුකාංග දේශීයකරණය පිළිබඳවත් අදහසක් දක්වන්නම්. මමත් දැනට දේශීයකරණ ව්‍යාපෘතියක් (www.ucsclodge.lk) කරගෙන යන කෙනෙක්. දේශීයකරණය කරද්දි හැම ඉංග්‍රීසි වචනයකටම සිංහල වචන සෙවීම නිරර්ථකයි. මොකද නුහුරු වචන ගොඩක් තිබුණාම එය භාවිතකරුට එපා වෙනවා. අනෙක මෘදුකාංගයේ නම සිංහලට පරිවර්තනයත් අනවශ්‍යයි. ජූම්ලා සිංහල භාෂාවෙන් ස්ථාපනය කරන්න ගිහින් තව ටිකෙන් මට දේශීයකරණය කළ මෘදුකාංග එපාම වෙලා යනවා. සිංහල ෆයර්ෆොක්ස් නම් ඉතාම හොඳයි. මේ ප්‍රතිචාරය සටහන් කරන්නේත් සිංහල ෆයර්ෆොක්ස් සංස්කරණයේ සිට. දේශීයකරණයේදී යොදාගන්නා වදන් මාලාව පිළිබඳ යම් සම්මුතියක්/ සම්මතයක් සාදා ගැනීම දැන් ම කළ යුතු වැදගත් කාර්යයක් යයි සිතනවා.

මහසෝනා | Mahazona said...
This comment has been removed by the author.
Jayantha said...

මේ ලිපිය බ්ලොග් එක‍ට දාපු එක හොඳයි. අහම්බෙන් ඒක දැක්කෙ.