Sunday, February 01, 2009

බල්ෂෝයි රඟහල හා රුසියානු ඔපෙරාව

රුසියාවේ මොස්කව් නුවර පිහිටා ඇති ඓතිහාසික "මහා” රඟහල හෙවත් බල්ෂෝයි රඟහල වර්ෂ 1776 දී ආරම්භ කරන ලදී. වර්තමාන ගොඩනැගිල්ල වර්ෂ 1824 දී පෙත්‍රොව්කා රඟහල අත් පත් කර ගැනීමෙන් පසුව ඉදිකරන ලද්දකි. පෙත්‍රොව්කා රඟහල වර්ෂ 1805 දී ගින්නෙන් විනාශ විය.

එකල රුසියාවේ සම්භාව්‍ය කලා නිර්මාණයන් වූ ඔපෙරාව හා බැලේ යන අංග රුසියානු අධිරාජයාට අයත් රාජකීය සම්පත් ලෙස සැලකිනි. එවකට රුසියාවේ ප‍්‍රධානතම නගර දෙක වූ ශාන්ත පීතර්බර්ග් හා මොස්කව් යන නගරයන්හි රංග ශාලා දෙක බැගින් විය. ඉන් එකක් උසස් යැයි සැලකුනු ඔපෙරා හා බැලේ සඳහා විය. බල්ෂෝයි (Большой) යන රුසියානු වදනින් විශාල, උසස්, මහා යන අර්ථය ගෙන දේ. එබැවින් ඔපෙරා හා බැලේ සඳහා වූ රඟහල බල්ෂෝයි රඟහල නම් විය. අනෙක නාට්‍ය හා හාස්‍ය නිර්මාණ සඳහා වෙන් විය. නාට්‍යයන්ට වඩා ඔපෙරාව හා බැලේ උසස් ලෙස සැලකූ නිසාවෙන් දෙවන රඟහල කුඩා රඟහල යන අර්ථය ගෙන දෙන "මාලී” (Малий) රඟහල ලෙස හැඳින්විය. සෝවියට් දේශයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය වූ බල්ෂෙවික් පක්ෂය ද බල්ෂෝයි යන වචනයෙන් පැනනැගි වදනකි. මෙහිදී බල්ෂෙවික් යන්නෙන් බහුතරය හෝ වැඩි ප‍්‍රමාණය ලෙස අර්ථ දැක්වේ.

වර්ෂ 1853 දී ගින්නක් හේතුවෙන් බල්ෂෝයි රඟහලට බරපතල හානි සිදුවිය. ප‍්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව වර්ෂ 1856 දී රඟහල යලි විවෘත විය. නැවත වතාවක් දෙවන ලෝක මහා සංග‍්‍රාම සමයේදී සතුරු බෝම්බ ප‍්‍රහාරයකින් බල්ෂෝය රඟහලට බරපතල හානි සිදු වුවද යුද්ධයෙන් පසු යලි පෙර තත්වයටම පිලිසකර කෙරිනි.

බල්ෂෝයි හා බැලේ යන වචන දෙක කාලාන්තරයක් පුරාවට එකිනෙක බැඳී පවතී. බල්ෂෝයි බැලේ (Balshoi Ballet) නූතන බටහිර සංස්කෘතියේ විශිෂ්ඨ අංගයක් වී ඇත.

ශේෂ්ඨ රුසියානු සංගීතවේදී චයිකොව්ස්කිගේ "හංස විල" (Swan Lake (Russian: Лебединое Озеро)) වර්ෂ 1877 මාර්තු 4 වැනි දින බල්ෂෝයි රඟහලේදී කල එලි දැක්වින. එමෙන්ම රෝමියෝ ජුලියට් වැනි විදේශීය නිර්මාණයන්ද මෙම රඟහල තුල පෙන්වනු ලැබීය. ස්තාලින් ගේ අභාවයෙන් පසු උසස් විදේශීය බැලේ සහ ඔපෙරාවන් සඳහා බල්ෂෝයි රඟහල විවෘත විය.

වර්ෂ 2005 දී ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමන ලද බල්ෂෝයි රඟහල 2009 වසරේදී සම්පූර්ණයෙන්ම නැවත විවෘත කිරීමට නියමිතය. ඇමෙරිකානු ඩොලර් මිලියන 730ක් ලෙස ඇස්තමේන්තු කර ඇති මෙම ප‍්‍රතිසංස්කරණය බල්ෂෝයි රඟහලේ ඉතිහාසය තුල සිදුකරනු ලබන දැවැන්තම ප‍්‍රතිසංස්කරණය ලෙස සැලකේ. ප‍්‍රතිසංස්කරණය සඳහා වැය වන සම්පූර්ණ වියදම රුසියානු රජය මගින් දරනු ලැබේ. ඓතිහාසික වටිනාකමකින් යුත් ලෝක උරුමයන් හා කලාවන් රැුක ගැනීම සඳහා රුසියානු රජය විසින් ගෙන ඇති මෙම පියවර කලාව අගයන සකල ලෝක වාසීන් වෙනුවෙන් ගත් මහඟු ක‍්‍රියාමාර්ගයක් සේ සැලකිය හැකිය.

"රුසියාව " සඟරාවේ 11 වැනි කලාපයට ලියන ලද ලිපියකි

3 comments:

rahoocent said...

වැඩෙ නියමයි අපෙ සුබපැතුම්

malee_msg said...

ස්තූතියි සටහනට..

thusitha said...

විෂයය නම් ටිකක් වෙනස්. joomla ස්ථාපනය කරන විදිය සහ භාවිතා කරන විදිය ගැන සිංහල උපදෙස් ටිකක් ලියන්න බැරිද?