Friday, March 13, 2009

සිංහල යුනිකෝඩ්..?

පහත දැක්වෙන්නේ මා විසින් 2008 නොවැම්බර් මස පැවති සමාජවාදී රටවල උපාධිලත් ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ වාර්ෂික සමරු කලාපයට ලියන ලද ලිපියකි. ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික සාමජිකයින් අතට මෙම සමරු කලාපයේ මුද්‍රිත පිටපත් ලැබෙන බැවින් සිංහල යුනිකෝඩ් පිලිබඳ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

ශ්‍රී ලංකාවට පරිඝණකය පැමිණියේ 80 දශකයේ පමණය. එදා පටන්ම දේශීය තාක්ෂණවේදීන් හා විවිධ ආයතන සිංහල භාෂාව තොරතුරු තාක්ෂණය හා බද්ධ කිරීම සඳහා නොයෙකුත් ප්‍රයත්නයන් දරන ලදී. ඉන් බොහොමයක් වානිජ අරමුණු වලින් සමන්විත සිංහල යතුරු ලියනය හා මුද්‍රණ ක්ෂේත්‍රය ඉලක්ක කර ගත් මෘදුකාංග විය. 1985 දී ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්‍ෂණෙවේද සභාව (CINTEC- සින්ටෙක්) පිහිට වූ පසු සිංහල හා දමිළ භාෂාවලින් පරිගණක භාවිත අවශ්‍යතා පිළිබඳව කටයුතු කිරීම සඳහා තොරතුරු තාක්‍ෂණ මෙන්ම සිංහල භාෂා ප්‍රවීණයන්ගෙන් සමන්විතකම්ටුවක් පිහිටවන ලදී. තනි බයිටයකින් සැදි ASCII කේතන වගුවේ (ISO 646) AO සිට FF දක්වා වූ කේත පිරවිය හැකි බිටු 7කින් යුත් කේතන ක්‍රමයක් සකසා සම්මත කේතන ක්‍රමය සාදන ලදී. The standard code for Information Interchange - SLASCII (ස්ලස්කි) ලෙස අනුමත වූ ඉහත කේත ක්‍රමය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1134 ලෙස 1996 වසරේදී සම්මත කර ගන්නා ලදී. ලොව බොහෝ භාෂාවන්හි අක්‍ෂර දැක්වීම සඳහා භාවිතා කරන යුනිකෝඩ් කේත ක්‍රමය අනුව සිංහල අක්‍ෂර මාලාව කේත ගත කිරීම අවශ්‍ය වූ අතර විටින් විට ඇති වූ සංශෝධනයන්ගෙන් පසු 2004 වසරේදී ICTA ආයතනයේ මැදිහත් වීමෙන් SLS 1134 සංශෝධනය කොට දැනට පවතින සම්මත සිංහල යුනිකෝඩ් ක්‍රමය එලිදක්වන ලදී.

යුනිකෝඩ් යනු කුමක්ද? යුනිකෝඩ් ක්‍රමය මගින් පරිගණක පද්ධතියෙන් ස්වායක්තව, පරිගණක වැඩසටහනෙන් ස්වායක්තව, භාෂාවෙන් ස්වායක්තව සෑම අක්‍ෂරයකටම ඊටම අනන්‍ය වූ අංකයක් ලබා දේ. යුනිකෝඩ් ක්‍රමය සොයා ගැනීමට පෙර මෙසේ අකුරුවලට අංක නියම කිරීමට ASCII වැනි කේතන පද්ධති ඉතා විශාල ගණනක් පැවතුනි. එමෙන්ම රුසියානු, ප්‍රංශ, ජර්මන් වැනි විවිධ භාෂා සඳහා විවිධාකාර වූ කේත ක්‍රම භාවිතා විය. නමුත් යුනිකෝඩ් ක්‍රමය පැමිණීමත් සමගම ලොව සියලුම භාෂා එකම කේතන ක්‍රමයකට ගෙන ඒමට හැකි වී ඇත. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව එම යුනිකෝඩ් කේතන ක්‍රමයට සකස් කෙරුනු සිංහල අක්ෂර මාලාව SLS 1134 මගින් දැක්වේ. විවිධ මෙහෙයුම් පද්ධති හා මෘදුකාංග වල ඇති විෂමතා හේතුවෙන් පැරණි මෙහෙයුම් පද්ධති වල (උදා: Windows 98) සමහර සිංහල අක්ෂර හොඳින් දර්ශණය නොවුවද Linux, Windows Vista වැනි මෙහෙයුම් පද්ධති පෙර නිමියෙන්ම සිංහල සහාය සමග පැමිණේ. සියලුම නවීන වෙබ් බ්‍රවුසර සහ වෙනත් පරිගණක නිපැයුම් රාශියක් යුනිකෝඩ් ක්‍රමය ට සහාය දක්වයි. එමෙන්ම ලොව ප්‍රචලිත වෙබ් බ්‍රව්සරයක් වන මොසිල්ලා ෆයර්ෆොක්ස් (Mozilla FireFox) දැන් සම්පූර්ණයෙන්ම සිංහලෙන් ලබා ගත හැක (http://www.mozilla.com/en-US/firefox/all.html#si) .

රාජ්‍ය අංශය තුල චක්‍රලේකයක් මගින් ලිපි කටයුතු සඳහා යුනිකෝඩ් භාවිතා කල යුතු බවට නියෝග කර ඇත. නමුත් ශ්‍රී ලංකාව තුල තවමත් යුනිකෝඩ් ගැන එතරම් ප්‍රචාරණයක් සිදු වී නොමැත. සමහරෙක් මෙය තවත් එක් "ෆොන්ට්" එකක් ලෙස දකිති. මෙය හුදෙක් ෆොන්ටයක් නොව කේතන ක්‍රමයකි. ඔබට අවශ්‍ය නම් ගොනුවක් (file) හෝ ෆෝල්ඩරයක් (folder) සිංහලෙන් නම් කල හැක. පැරණි ASCII ෆොන්ට භාවිතයෙන් එවැන්නක් කල නොහැක. බොහෝමයක් සිංහල පුවත් වෙබ් අඩවි යුනිකෝඩ් ක්‍රමයට පරිවර්තනය වී ඇත. www.silumina.lk, www.ethalaya.com, www.dinamina.lk ඉන් සමහරකි. අනෙකුත් අඩවි වලටද යුනිකෝඩ් ක්‍රමයට පරිවර්තනය වීම හැර වෙනත් විකල්පයක් නැත. සමහරක් වෙබ් අඩවි "ෆොන්ට් නොගෙනම කියවන්න" යන ලේබලය යටතේ යල් පැන ගිය තාක්ෂණයක් වන මයික්‍රෝසොෆ්ට් ආයතනයේ EOT (Embedded Open Type) ක්‍රමයට අනුව සිංහල පුවත් ඉදිරිපත් කරති. නමුත් ෆොන්ට් නොගෙන කියවිය හැක්කේ මයික්‍රෝසොෆ්ට් ආයතනයේ නිපැයුමක් වන IE (Internet Explorer) මත පමණි. නවීන පුවත් අඩවි වල ඇති විශේෂත්වය නම් යම් කිසි පුවතක් සම්බන්ධයෙන් පාඨකයන්ට තම අදහස් (Comments) දැක්වීමට ඇති හැකියාවයි. වෙබ් අඩවිය සිංහල යුනිකෝඩ් ක්‍රමයට අනුකූලව සකසා ඇත්නම් හා ඉහත සඳහන් කල පාඨක අදහස් දැක්වීමේ පහසුකමක් ඇත්නම් වැඩි පිරිසක් එය කියවනු ඇත. පැරණි ASCII හෝ EOT ක්‍රමයට මෙය සිදු කල නොහැක.

රුසියානු බස යුනිකෝඩ් වූයේ මීට වසර ගනනාවකට පෙරය. අද වන විට සියලුම ජංගම දුරකථන ද රුසියානු යුනිකෝඩ් සහාය දක්වයි. නමුත් සිංහල බස යුනිකෝඩ් වී එතරම් කාලයක් ගත වී නොමැත. සිංහල යුනිකෝඩ් හි මීලඟ ඉලක්කය ජංගම දුරකථනයයි. ඉංග්‍රීසි අක්ෂර යොදා සිංහලෙන් SMS යවන අපේ අයට සිංහලෙන්ම කෙටි පණිවුඩ යැවිය හැකි වන දිනය වැඩි ඈතක නොවේ. දැනටමත් සමහර ජංගම දුරකථන සිංහල සහාය දක්වන අතර විශ්ව විද්‍යාල හා තාක්ෂණික ආයතන මේ සම්බන්ධයෙන් නිරන්තර පර්යේෂනයන්හි නියැලෙමින් සිටිති.

පරිඝණකයේ සිංහල සහාය පෙර නිමියෙන් පැමිණ නැත්නම් www.siyabas.lk වෙතින් එය බාගත කොට ඉතා පහසුවෙන් ස්ථාපනය කර ගත හැක. එමෙන්ම ස්ථාපනය සඳහා උපදෙස් http://www.siyabas.lk/sinhala_how_to_install.html පැහැදිලිව දක්වා ඇත. සිංහල යුනිකෝඩ් සඳහා සම්මත යතුරු පුවරුව විජේසේකර යතුරු පුවරුව වන අතර ශබ්දය අනුව සැකසුනු (Phonetic) ද භාවිතා වේ. ඉංග්‍රීසි යතුරු පුවරුවට හුරු වූ අයට මෙම ක්‍රමය භාවිතයෙන් ඉතා පහසුවෙන් සිංහල යුනිකෝඩ් යතුරු කල හැක. http://www.siyabas.lk/sinhala_unicode_keyboards වෙත පිවිසීමෙන් යතුරු පුවරු පිලිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැක.

සමහරෙක් මෘදුකාංග දේශීයකරණයට විරුද්ධය. එයින් අපේ අයගේ ඉංග්‍රීසි ඉගෙනුමට ඇති මග ඇහිරී යනු ඇති බව ඔවුන්ගේ මතයයි. නමුත් සිංහලෙන් හෝ දෙමළෙන් හිතන අපේ දේශීය චින්තනයට අනාගතයක් පැවතීමට නම් දේශීය භාෂා තොරතුරු තාක්ෂණය සමග බද්ධ විය යුතුමය. දමිළ බසින් සැලකිය යුතු මෘදුකාංග හා නිර්මාණ කොටසක් දකුණු ඉන්දියාවේ නිපදවේ. ඉතින් සිංහල බස සඳහා තාක්ෂණික දායකත්වය අප රටෙන් මිස වෙනත් රටකින් බලාපොරොත්තු විය නොහැක. ලිනක්ස් (Linux) මෙහෙයුම් පද්ධතිය දැන් සම්පූර්ණයෙන්ම සිංහල හා දෙමළ භාෂා වලින් සමන්විතය.

වර්තමානයේ අප කඩදාසි හා පෑන් භාවිතයෙන් ඈත් වී කෙලින්ම පරිඝණකයේ යතුරු ලියනයට හුරු වී සිටිමු. සිංහල සාහිත්‍යයේ හා ලේඛන කලාවේ උන්නතිය උදෙසා එහි නියැලෙන්නන් යුනිකෝඩ් භාවිතයට හුරු වීමෙන් අන්තර්ජාලයේ උසස් නිර්මාණ දැක ගත හැකි වනු ඇත. මෙහි මූලික පියවරයන් ලෙස සිංහලෙන් බ්ලොග් ලිවීම ඉතා ප්‍රචලිත වී ඇති අතර සිංහල බ්ලොග් කරුවන්ගේ සංසඳයේ (www.sinhalabloggers.com) ඉතා විශාල සිංහල බ්ලොග් ප්‍රමාණයක් දැක ගත හැක.

Sunday, February 01, 2009

බල්ෂෝයි රඟහල හා රුසියානු ඔපෙරාව


රුසියාවේ මොස්කව් නුවර පිහිටා ඇති ඓතිහාසික "මහා” රඟහල හෙවත් බල්ෂෝයි රඟහල වර්ෂ 1776 දී ආරම්භ කරන ලදී. වර්තමාන ගොඩනැගිල්ල වර්ෂ 1824 දී පෙත්‍රොව්කා රඟහල අත් පත් කර ගැනීමෙන් පසුව ඉදිකරන ලද්දකි. පෙත්‍රොව්කා රඟහල වර්ෂ 1805 දී ගින්නෙන් විනාශ විය.

එකල රුසියාවේ සම්භාව්‍ය කලා නිර්මාණයන් වූ ඔපෙරාව හා බැලේ යන අංග රුසියානු අධිරාජයාට අයත් රාජකීය සම්පත් ලෙස සැලකිනි. එවකට රුසියාවේ ප‍්‍රධානතම නගර දෙක වූ ශාන්ත පීතර්බර්ග් හා මොස්කව් යන නගරයන්හි රංග ශාලා දෙක බැගින් විය. ඉන් එකක් උසස් යැයි සැලකුනු ඔපෙරා හා බැලේ සඳහා විය. බල්ෂෝයි (Большой) යන රුසියානු වදනින් විශාල, උසස්, මහා යන අර්ථය ගෙන දේ. එබැවින් ඔපෙරා හා බැලේ සඳහා වූ රඟහල බල්ෂෝයි රඟහල නම් විය. අනෙක නාට්‍ය හා හාස්‍ය නිර්මාණ සඳහා වෙන් විය. නාට්‍යයන්ට වඩා ඔපෙරාව හා බැලේ උසස් ලෙස සැලකූ නිසාවෙන් දෙවන රඟහල කුඩා රඟහල යන අර්ථය ගෙන දෙන "මාලී” (Малий) රඟහල ලෙස හැඳින්විය. සෝවියට් දේශයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය වූ බල්ෂෙවික් පක්ෂය ද බල්ෂෝයි යන වචනයෙන් පැනනැගි වදනකි. මෙහිදී බල්ෂෙවික් යන්නෙන් බහුතරය හෝ වැඩි ප‍්‍රමාණය ලෙස අර්ථ දැක්වේ.

වර්ෂ 1853 දී ගින්නක් හේතුවෙන් බල්ෂෝයි රඟහලට බරපතල හානි සිදුවිය. ප‍්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව වර්ෂ 1856 දී රඟහල යලි විවෘත විය. නැවත වතාවක් දෙවන ලෝක මහා සංග‍්‍රාම සමයේදී සතුරු බෝම්බ ප‍්‍රහාරයකින් බල්ෂෝය රඟහලට බරපතල හානි සිදු වුවද යුද්ධයෙන් පසු යලි පෙර තත්වයටම පිලිසකර කෙරිනි.

බල්ෂෝයි හා බැලේ යන වචන දෙක කාලාන්තරයක් පුරාවට එකිනෙක බැඳී පවතී. බල්ෂෝයි බැලේ (Balshoi Ballet) නූතන බටහිර සංස්කෘතියේ විශිෂ්ඨ අංගයක් වී ඇත.

ශේෂ්ඨ රුසියානු සංගීතවේදී චයිකොව්ස්කිගේ "හංස විල" (Swan Lake (Russian: Лебединое Озеро)) වර්ෂ 1877 මාර්තු 4 වැනි දින බල්ෂෝයි රඟහලේදී කල එලි දැක්වින. එමෙන්ම රෝමියෝ ජුලියට් වැනි විදේශීය නිර්මාණයන්ද මෙම රඟහල තුල පෙන්වනු ලැබීය. ස්තාලින් ගේ අභාවයෙන් පසු උසස් විදේශීය බැලේ සහ ඔපෙරාවන් සඳහා බල්ෂෝයි රඟහල විවෘත විය.

වර්ෂ 2005 දී ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමන ලද බල්ෂෝයි රඟහල 2009 වසරේදී සම්පූර්ණයෙන්ම නැවත විවෘත කිරීමට නියමිතය. ඇමෙරිකානු ඩොලර් මිලියන 730ක් ලෙස ඇස්තමේන්තු කර ඇති මෙම ප‍්‍රතිසංස්කරණය බල්ෂෝයි රඟහලේ ඉතිහාසය තුල සිදුකරනු ලබන දැවැන්තම ප‍්‍රතිසංස්කරණය ලෙස සැලකේ. ප‍්‍රතිසංස්කරණය සඳහා වැය වන සම්පූර්ණ වියදම රුසියානු රජය මගින් දරනු ලැබේ. ඓතිහාසික වටිනාකමකින් යුත් ලෝක උරුමයන් හා කලාවන් රැුක ගැනීම සඳහා රුසියානු රජය විසින් ගෙන ඇති මෙම පියවර කලාව අගයන සකල ලෝක වාසීන් වෙනුවෙන් ගත් මහඟු ක‍්‍රියාමාර්ගයක් සේ සැලකිය හැකිය.

"රුසියාව " සඟරාවේ 11 වැනි කලාපයට ලියන ලද ලිපියකි

Thursday, January 24, 2008

Richard M. Stallman's (RMS) Sri Lanka visit

It was really a big moment in my life, the meeting with Richard M. Stallman (RMS) at the UCSC roof top.


With the launch of the GNU Project he started the free software movement, and in October 1985 set up the Free Software Foundation. Stallman pioneered the concept of copyleft and is the main author of several copyleft licenses including the GNU General Public License
There were several RMS events organized by the FOSS community and I could only participate at the UCSC.
Can see more photos at Deep's and Bud's blogs

Wednesday, December 19, 2007

සිංහලෙන් කතා කරන රුසියානු විදේශ ඇමති: සෙර්ගේයි ලාව්‍රොව්

ආර්මේනියානු සම්භවයකින් පැවත එන වර්තමාන රුසියානු විදේශ ඇමති තනතුර හොබවන සෙර්ගේයි වික්තරොවිච් ලාව්‍රොව් වර්ෂ 1950 මාර්තු මස 21 වැනි දින මොස්කව් හිදී උපත ලැබීය.

වර්ෂ 1972 දී මොස්කව් නුවර ජාත්‍යාන්තර සබඳතා පිලිබඳ රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් උපාධිධරයෙකු ලෙස පිටවූ ඔහු, එම වසරේම ශ්‍රී ලංකාවේ සෝවියට් තානාපති කාර්- යාලයේ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස සේවයට එක් විය. 1976 දක්වා ශ්‍රී ලංකාවේ සේවය කල ඔහු චතුර ලෙස සිංහල බස හසුරුවීමේ සමතෙකු බව කියැවේ.

1976 දී නැවතත් මොස්කව්හි විදේශ අමාත්‍යාංශයට අනුයුක්ත වූ ඔහු, 1981 සිට 1988 දක්වා එක්සත් ජාතීන්ගේ සංගමයේ සෝවියට් පාර්ශවයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස නිවයෝක් නුවර සේවය කලේය. ඉන් අනතුරුව 1990 දක්වා විදේශ අමාත්‍යාංශයේ අන්තර්ජාතික ආර්ථික සබඳතා අංශයේ උප ප්‍රධානියා ලෙස කටයුතු කල ලාව්‍රොව් ‍, 1992 දක්වා විදේශ අමාත්‍යාංශයේ ජාත්‍යාන්තර ආයතන හා ගෝලීය ගැටලු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කලේය.

ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී 1992-1994 කාලයේදී නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරය හෙබවූ ඔහු, 1994-2004 කාලයේ එක්සත් ජාතීන්ගේ සංගමයේ නිත්‍ය රුසියානු නියෝජිතයා ලෙස කටයුතු කලේය.

ව්ලැදිමීර් පූතින් ජනාධිපතිවරයා විසින් 2004 මාර්තු 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සෙර්ගේයි වික්තරොවිච් ලාව්‍රොව් රුසියාවේ විදේශ ඇමති වරයා ලෙස පත් කරනු ලැබීය.

විශිෂ්ඨ රාජතාන්ත්‍රිකයෙක් වන සෙර්ගේයි වික්තරොවිච් ලාව්‍රොව්, පූතින් ජනාධිපතිවරයා හා ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යාන්තරයට ගෙනයාමේ කර්තව්‍ය මැනවින් ඉටු කරමින් සිටී.

ධම්මික මෙන්ඩිස්෴

"රුසියාව" සඟරාව සඳහා ලියන ලද ලිපියකි

www.rusiyava.org

2050 දී ලෝකය හා අප

Photo Credit : www.chainadaily.com.cn PWC (pricewaterhousecoopers)  උපකල්පිත ගණනය කිරීම් වලට අනුව වසර 2050 දී ඇමරිකාව පසුකරමින් චීනය...